December 8, 2015

ඔබේ ඇසේ ඇති වියහැකි තාක්ෂණික දෝෂ (technical faults).


ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

හැමෝම දන්නවනෙ අපිට වස්තූන් පෙනෙන්නෙ යම් වස්තුවක සිට එන ආලෝක කිරණ ඇසේ කණීනිකාව තුලින් ගිහින් අක්‍ෂි කාචයෙන් දෘෂටි විතානය මත නාභිගත වෙලා දෘෂ්ටි විතානයෙන් නිපද වන සංඥා, දෘෂ්ටි ස්නායුව හරහා මොළේට ගිහාම කියලා. ඉතිං අපිට ඇස් දෙකක් තියෙන නිසා මේ ඇස් දෙකෙන්ම නිපදවන සංඥා මොළේට යනවා. ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයෙදී මේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙකම තත්පරෙන් දාහෙන් පංගුවකවත් වෙනසක් නැතුව හරියටම එකම වෙලාවෙදි මොළේට යා යුතුයි. එම සංඥා දෙකේ සංකලනයෙන් අපිට වස්තූන් ත්‍රිමාණව පෙනෙන්නෙ අන්න එතකොටයි.

අර මං කිව්වනෙ සමහරවෙලාවට අපිට වර්තමානයේ සිදුවන දේ මීට පෙර සිදුවෙලා තියෙනවා වගේ හිතෙන්නෙ අපේ ඇසේ තියෙන තාක්‍ෂණික දෝෂයක් නිසා කියලා. අන්න ඒ තාක්‍ෂණික දෝෂය තමයි ඇතැම් වෙලාවට අපේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙක මොළේට යන්නෙ පුංචි කාල අන්තරයකින් වීම. එනම් එක් ඇසකින් නිකුත් කරන සංඥාව මොළේට ගිහින් පුංචිම පුංචි කාලයකට (fraction of a second) පස්සෙ තමයි අනෙක් ඇසෙන් නිකුත් කරන සංඥාව මොළේට යන්නෙ. මෙහෙම වෙන්නෙ ගොඩක් කලාතුරකින්. මෙතනදි වෙන්නෙ මෙන්න මේකයි. මුලින් ආපු සංඥාව මොළේට ගිය ගමන් එය අපේ මතකයේ තැම්පත් වෙනවා. ඊළඟට එම සංඥාවම ආයෙමත් අනෙක් ඇසෙන් ආපුවම අපිට ඒක දැනෙන්නෙ අපේ අතීත මතකයේ තිබ්බ දෙයක් නැවත සිදුවෙනවා වගේ. ඉතිං හරිනෙ. තත්පරෙන් පංගුවකට කලින් ඒ දේම අපේ මතකයෙ තැම්පත් උනානෙ.
ඔබත් මේ අත්දැකීමට මූණ දී තිබේ නම් හෝ නොතිබේ නම් සටහනක් තබා යන්න අමතක කරන්න එපා. මෙම අත්දැකීම සෑම කෙනෙක්ටම පොදු දෙයක්ද නැත්නම් පිරිසකට පමණක් සීමා වුනු දෙයක්ද කියලා එතකොට අපිට තහවුරු කරගතහැකි. මේ සංසිද්ධිය පිළිබඳ මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදි ද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන වැඩිදුර දන්නවනම් ඒ පිළිබඳව අපවත් දැනුවත් කරන්න. මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.

Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා....

No comments:

Post a Comment